Home » දහදිය – කඳුළු- ගැටුම් මැද දකුණු ලක දිදුල ආලෝක දහර
Asia Economy Featured News South Asia Sri Lanka

දහදිය – කඳුළු- ගැටුම් මැද දකුණු ලක දිදුල ආලෝක දහර

රට මැද තිබූ විදුලිය දකුණු පළාතට ගෙනා පොල්පිටිය – හම්බන්තොට කිලෝ වෝල්ට් 220 සම්ප්‍රේෂණ මාර්ගයේ ප්‍රතිලාභ දැන් දකුණු ලක ජනයා විඳිමින් සිටිති. වෙනදා රාත්‍රී කාලයට තම වතුර මෝටරය පවා ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව සිටින ජනතාවගේ ගෙදර අද ස්විචය දැමූ සැනින් වතුර මෝටරය වැඩය. විදුලි බුබුළේ දීප්තිය වෙනදාට වඩා වැඩිය. ස්විචයක් දැමූ සැනින් මේ වෙනස ජනතාවට දැනුන ද, ඒ වෙනස වෙනුවෙන් සිදුකළ ක්‍රියාවලිය දැඩි වෙහෙසකරය, දැඩි දුෂ්කරය. මෙම සම්ප්‍රේෂණ මාර්ගයේ ප්‍රතිලාභ ගැන අපි පසුගිය සතියේ ඔබට කීවෙමු. අද අප ඔබට කියන්නේ පොල්පිටිය -හම්බන්තොට කිලෝ මීටර් 150ක් තරම් දිගු වූ සම්ප්‍රේෂණ මග කියනා මෙරට විදුලි සහ සිවිල් ඉංජිනේරුවන්ගේ වෘත්තීය නිපුණතාවයි. කැපවීමයි. ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ කටයුතු කළ කණ්ඩායමක දහදිය කඳුළුයි.

“මේ සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම්, රැහැන් ඇදීම් කටයුතු කළේ අදියර තුනන් යටතේ. එහි මුල්ම කිලෝ මීටර් 25 භාරව කටයුතු කළේ විදුලි ඉංජිනේරු සංජීව කාරියවසම්. එතන ඉඳල කිලෝ මීටර් 100ක දුරක් භාර විදුලි ඉංජිනේරු රඛිත කොඩිකාරට. අවසාන කිලෝ මීටර් 25 වැඩ කරන්න විදුලි ඉංජිනේරුවන් දෙදෙනෙක් සම්බන්ධ වුණා. එතනදි මුල් අදියරේ වැඩ කළේ විදුලි ඉංජිනේරු චමිල් ඉදිරිමුනි. පසුව ඔහු උසස්වීම් ලබා ඉන් අයින් වුණාට පස්සෙ විදුලි ඉංජිනේරු ප්‍රභාත් වරකාඋල්ල. මේ ඉංජිනේරු කණ්ඩායම තමයි මේ ගමන් මගේ තිබුණු බාධක, අභියෝග, දුෂ්කරතා, අවදානම හොඳින්ම දන්නෙ. ඔවුන් ඒ සියල්ල කළමනාකරණය කරමින් මේ ව්‍යාපෘතිය සාර්ථක කරන්න දායක වුණා.”

මෙලෙසින් හඬ අවදි කළේ මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විදුලි ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්නයි.

දහදිය - කඳුළු- ගැටුම් මැද දකුණු ලක දිදුල ආලෝක දහර

මේ කතාවේ මුල් පරිච්ඡේදය ඇරඹෙන්නේ 2018 අගෝස්තු 8 වැනිදාය. පොල්පිටිය – හම්බන්තොට සම්ප්‍රේෂණ මග තැනීමට යෝජනා වුවද එහි ගමන් මග පළමුව තීරණය කළ යුතුව තිබිණි. ඒ අනුව පළමුවෙන් සිදුවූයේ සම්ප්‍රේෂණ ගමන් මගෙහි මිනුම් කටයුතුය. මේ මිනුම් කටයුත්ත ලෙහෙසි පහසු වූවක් නොවේ. ඊට හේතු නම් මෙය පොළෝ තලය මෙන්ම අහස් කුසද ස්පර්ශ කරන ගමන් මගක් බැවිනි. ඒ නිසා එකී මැනුම් කටයුතු සඳහා භාවිතා වූයේ අති නවීන මිනුම් තාක්ෂණයක් වන ඩ්‍රෝන තාක්ෂණයයි.

හම්බන්තොටින් ආරම්භ වූ මැනුම් කටයුතු අවසන් වූයේ පොල්පිටියෙනි. කිලෝ මීටර් 150ක් දීර්ඝ වූ එම ගමන් මග පීත්ත පටියක් සේ එක දිගට ඇදී යන මගක් නම් නොවේ. තැනක තැනිතලාවකි. ඉන් ඉදිරියට යද්දී හමුවනුයේ ඝන කැළෑවකි, උස් කඳු මුදුනකි, වනවගාවකි. තවත් තැනක ගංගාවකි, අතිශය සංවේදී පරිසර පද්ධතයකි, සතා සිවුපාවාගෙන් පවා ආරක්ෂා විය යුතු තැන් බොහෝය. එහෙත් මේ කාර්යයට අතගසා සිටින කණ්ඩායමට ඒවා බාධාවන් සේ නොපෙනුණි. ඒ මෙහි අවසානය දකුණු පළාත එළිය කිරීම ඔවුන් වටහාගෙන තිබූ නිසාය.

“කිලෝ මීටර් 150ක් මැනුම් කටයුතු කරනවා කියන්නෙ මාස හතරක, පහක වැඩක්. මාර්ග සංවර්ධන අධිකාරිය හම්බන්තොට අඩි 100 පාර හදල ඒ පාරට ඉඩම් අහිමිවුණු මිනිසුන්ට වන්දි ගෙවීමේ ප්‍රශ්නයක් නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වටලල ලොකු විරෝධතා පවත්වන කාලයෙ තමයි අපි හම්බන්තොටින් මේ මැනුම් කටයුතු ආරම්භ කළේ. ඒ වෙලාවෙ ඒ මිනිසුන්ගෙන් අපටත් ආවෙ ආවේගශීලී ප්‍රතිචාරයක්. තමන්ගෙ ඉඩම්වලට අත තියන්න එපා, එහෙම ආවොත් කපනවා කියන ආවේගයෙන් තමයි මිනිස්සු අපි දිහා බැලුවෙ. එතනදි අපි සෑහෙන ඉවසීමෙන්, ඒ අයගෙ වේදනාවන්ට ඇහුම්කන් දෙන්න වුණා. ඊට පස්සෙ අපි මේ කාර්යය පටන් ගන්න කලින් වන්දි මුදල් දෙනව කියන විශ්වාසය ඇතිකර ගන්න ලොකු වෙහෙසක් ගන්න වුණා. එතනදි අපි ඉතා ඉක්මනින් වන්දි තක්සේරු කරල ඒ මුදල් ඒ ජනතාවට දීල තමයි වැඩේ පටන් ගත්තෙ. එහෙම තමයි ඒ මිනිසුන්ගේ තිබුණු පීඩනය අඩුකර ගත්තෙ. විශේෂයෙන් සූරියවැය ආශ්‍රිතව තමයි මේ තත්ත්වය වඩාත් දරුණුව තිබුණෙ.

හැබැයි කුඹුරු ඉඩම් වගේ තැන්වලින් ලයින් එක යද්දි ඒ ඉඩම් අයිති ගොවි මහත්වරු ඒකට විරුද්ධ වුණේ නෑ. අපි අව් කාෂ්ඨයේ මේ මැනුම් කරගෙන යද්දි, අපිට තැඹිලි ගෙඩියකින්, කුරුම්බා ගෙඩියකින් සංග්‍රහ කරල, අපි නොදන්නා ඉඩම්වල අයිතිකාරයිනුත් හොයා දිල ලොකු සහයෝගයක් දැක්වුව. ඔවුන් හරි අව්‍යාජ අහිංසක මිනිස්සු. කොහොම වුණත් මිනිස්සුන්ගේ විරෝධතා දිහා බැලුවම අපිට පෙනුන දේ තමයි එකක් අවිශ්වාසය, නොදැනුවත්කම සහ අපිට මේ වගේ ව්‍යාපෘතියක් අවශ්‍ය නෑ කියන වැරැදි වැටහීම. මොකද කම්බි ඇදල ගෙදර ලයිට් දෙනකොට මිනිස්සු දන්නව ඒ තමන්ගේ ගෙදරට ලයිට් ලැබෙනව කියල. ඒත් මේ වගේ ව්‍යාපෘතිවලින් ලැබෙන ප්‍රතිලාභ ගැන ඔවුන් දන්නෙ නෑ.”

ඒ මෙම ව්‍යාපෘතියේ මුල් අදියරේ කිලෝ මීටර් 25 එනම් හම්බන්තොට සිට වළවේ ගඟ දක්වා වූ මග භාරව සිටින ඉංජිනේරු සංජීව කාරියවසම් මුහුණ දුන් අත්දැකීම්ය.

රටක් සංවර්ධනය කරා යන ගමනේදී යම් යම් දේ කැපකිරීමට සිදුවේ. එහෙත් සංවර්ධනයේ නාමයෙන් ජනතාව තලා පෙළා දැමීමට කිසිවෙක්ටත් අයිතියක් නැත. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ මේ සත්‍යය හොඳින්ම දැන හැඳිනුවෝය. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතියක් වුවද ඒ වෙනුවෙන් අහිංසක ජනතාව පෙලීමට ඔවුන් කිසිසේත් කටයුතු කළේ නැත. මල නොතලා රොන් ගන්නා සේ, මෙම ව්‍යාපෘතියට ජනතාවගෙන් අත්කරගන්නා සියලු ඉඩකඩම්වලට වත්මන් වෙළෙඳපොළ වටිනාකමට සරිලන වන්දියක් ලබාදීමට කටයුතු කළහ. මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න පැවැසුවේ මේ වනවිට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ජනතාව වෙත ගෙවා ඇති වන්දි මුදල රුපියල් මිලියන 1750ක් බවත්, තවත් වන්දි ඉදිරියේදී ලබාදීමට නියමිතව ඇති බවත්ය.

මෙරට නව සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භයේදී ඊට යම් පිරිසක් විරෝධය පෑම සාමාන්‍ය තත්ත්වයකි. ඒ නිසා ඊට මුහුණදෙන ආකාරයේ පූර්වාදර්ශයන් තිබේ. එහෙත් මෙම ව්‍යාපෘතියේදී ආ ඇතැම් අභියෝග, බාධාක ජය ගැනීමේ පූර්වාදර්ශයන් නොවීය. මක්නිසාද ඒවා මෙරට විදුලි ඉංජිනේරුවෝ පළමු වරට මුහුණ දුන් අභියෝග වූ නිසාය. ඉන් එක් අභියෝගයක් වූයේ මෙම සම්ප්‍රේෂණ මාර්ගයේ රැහැන් අධිවේගී මාර්ගය ඉහළින් ඇදීමය. එය අභියෝගයක්ම වූයේ එක් කොන්දේසියක් නිසාය. එනම් අධිවේගී මාර්ගය වසා දැමිය නොහැක. එවැනි ස්ථාන දෙකකි. එකක් නම් සූරියවැවයි, අනෙක් ස්ථානය හම්බන්තොට කෙළවරයි.

“අපි සම්ප්‍රේෂණ මාර්ගය මැනුම් කටයුතු කරද්දී ඒ වගේ තැන් හඳුනාගෙන තිබුණ. ඒ නිසා මේ ව්‍යාපෘතිය කළ චීන කොන්ත්‍රාත් සමාගමට අපි මේක කල් ඇතිව දැනුම් දීල තිබුණෙ. අපි ඔවුන්ට එතනදී කිව්ව රැහැන් ඇදීමට ඩ්‍රෝන යානා අවශ්‍ය බව. ඔවුන් ඊට සූදානම් කළ ඩ්‍රෝනා යානා පාවිච්චි කරල තමයි අධිවේගී මග උඩින් රැහැන් ඇද්දේ. එතනදි අපි තවත් සුවිශේෂී දෙයක් කළා. වැරැදිලා හරි රැහැනක් කඩාගෙන අධිවේගය මතට වැටුණොත් කියන උපකල්පනයෙන් අදින රැහැන්වලට පහළින්, අධිවේගී මාර්ගයට උඩින් විශේෂ ආරක්ෂිත දැලක් සවි කළා. සාමාන්‍යයෙන් එහෙම රැහැන් අදිද්දි කඩාවැටෙන්න තියෙන සම්භාවිතාව ඉතාම අල්පයි. ඒත් අපි ඒ අල්ප අවදානමත් නොවෙන්න අවශ්‍ය සැලසුම් කරල තමයි ඒ වැඩේ කළේ.”

දහදිය - කඳුළු- ගැටුම් මැද දකුණු ලක දිදුල ආලෝක දහර

ඉංජිනේරු සංජීව කාරියවසම් පවසන්නේය.

එමෙන්ම මෙරට විදුලි සම්ප්‍රේෂණ මාර්ග ඉතිහාසයේ පළමු වරට විදුලිය සජීවීව පවතින සම්ප්‍රේෂණ මාර්ගයක් ඉහළින් රැහැන් ඇදීම සිදුකළේ ද මෙම ව්‍යාපෘතියේදීය. එය ඉතා අවදානමක් සහ දුෂ්කර කාර්යයකි. මේ ඒ ගැන ඉංජිනේරු සංජීව පැවැසූ දේය.

“ඇඹිලිපිටියට – හම්බන්තොටට කිලෝ වෝල්ට් 132ක සම්ප්‍රේෂණ මාර්ගයට ඉහළින් රැහැන් ඇදීමේ අවස්ථාවක් තිබුණ. මීට පෙර කරපු ව්‍යාපෘතිවලදී මේ වගේ තැනකින් රැහැන් අදින්න වුණොත් දැනට විදුලිය තියෙන සම්ප්‍රේෂණ මාර්ගයේ විදුලිය විසන්ධි කරල තමයි රැහැන් ඇදීම කළේ. හැබැයි මෙතනදී අපිට කිලෝ වෝල්ට් 132ක මාර්ගයේ විදුලිය විසන්ධි කරන්න බෑ. එහෙම කළොත් හම්බන්තොට ප්‍රදේශයටම විදුලිය නැතිවෙනවා. එහෙම කරන්න අවසර තිබුණෙ මාසෙකට එක දවසයි. ඉතින් පහළින් තියෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ නොගැටීම රැහැන් අදිනවා කියන එක ලොකු ජීවිත අවදානමක් සහිත වැඩක්. එතනදිත් අපි චීන කොන්ත්‍රාත්කරුට කියල විශේෂ ආරක්ෂිත දැලක් අපේ සම්ප්‍රේෂණ මාර්ගයට යටින් සවි කළා.”

මෙම ව්‍යාපෘතිය තම බුද්ධිමය දායකත්වය සැපයූ ඉංජිනේරුවන්ගේ පූර්ව සූදානම සහ සැලසුම් නිසා කිසිදු බාධාවකට සම්ප්‍රේෂණ මගෙහි ගමන නැවැත්විය නොහැකි විය.

එමෙන්ම මේ ව්‍යාපෘතිය තිරසර සංවර්ධන ව්‍යාපෘතියකි. මක්නිසාද පරිසර පද්ධතියට හානි නොකරමින් ඒ හා අනුගත වෙමින් කළ මෙහෙවරක් බැවිනි. ඉංජිනේරු සංජීව ගේ මේ වදන් ඊට සාක්ෂිය.

“මදුනාගල රක්ෂිතය උඩින් මේ රැහැන් මාර්ගය යනව. අපි ඒ පරිසර පද්ධතියට කිසිදු හානියක් කරන්නෙ නැතිව රැහැන් ඇදීම සිදුකළා. එතනදි අමතක කරන්න බෑ වල් අලි ප්‍රශ්නය. හැබැයි වනජීවී නිලධාරීන් දුන්නු උපදෙස් අනුව කටයුතු කළ නිසා කිසිම වල් අලියෙක්ගෙන් අපිට හානියක් වුණේ නෑ. ඒ වගේම සමහර තැන්වලට වාහනයෙන් බහිද්දිම කකුල ළඟ සර්පයෙක්. මේක මේ ව්‍යාපෘතියේ හිටිය බොහෝ දෙනෙක්ට වුණු දෙයක්. එහෙත් අපි සොබාදහමට හානි නොකර මේ වැඩේ කළ නිසා සොබාදහමේ ආශිර්වාදයත් අපිට තිබුණ. ඒ නිසා කාටවත් වන සතුන්ගෙන්, සර්පයින්ගෙන් හානියක් වුණේ නෑ.”

මෙවැනි බාධාවන් මැද හම්බන්තොට – වලවේ දක්වා වූ මීටර් 25ක ගමන්මග වැඩ නිම කිරීමට වසර එකහමාරක් වැනි කාලයක් ගතවී තිබිණි.

ඉන් පසු එළැඹුණේ මෙම මගෙහි දීර්ඝතම කොටස වූ වලවේ ගඟ – සිරිපාගම දක්වා වූ කිලෝ මීටර් 100යි කොටසයි. එය භාරව කටයුතු කළේ ඉංජිනේරු රකිත කොඩිකාර ය. ඔහු මේ වනවිට මෙම ව්‍යාපෘතියේ කළමනාකරු වශයෙන් කටයුතු කරයි..

“මේ ගමන් මගේ කිලෝ මීටර් 150න්, කිලෝ මීටර් 60ක් එන්නෙ තැනිතලා ප්‍රදේශයෙන්. ඒ කියන්නෙ හම්බන්තොට ඉඳන් ඇඹිලිපිටිය දක්වා වූ මාර්ගය. ඇඹිලිපිටියෙන් පස්සෙ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, එතන ඉඳල කිලෝ මීටර් 90ක් පොල්පිටිය දක්වා ගමන් මග යන්නෙ කඳුවලින්. මේ ගමන් මාර්ගයෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක් තිබුණ. ග්‍රාම නිලධාරී වසම් 70ක් තිබුණ. මේ මාර්ගයෙ තිබුණු ප්‍රධාන බාධකයක් තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇඹිලිපිටියෙ තේක්ක වන වගාව. ඒ වන වගාවට උඩින් කිලෝ මීටර් 3ක් විතර දිගට අපේ රැහැන් අදින්න වුණා. ගස් කපල කරනවා නම් තේක්ක ගස් 6000ක් වගේ කපන්න ඕන. අපි ඒ දේ කරන්නෙ නැතිව ඉංජිනේරු තාක්ෂණය අනුව අපේ සම්ප්‍රේෂණ කුලුනක් ඔසවන්න පුළුවන් උපරිම උස භාවිත කරල ඒ උඩින් රැහැන් ඇද්ද. අනෙක මේ කිලෝ මීටර් 100 ඇතුළෙ කිලෝ වොල්ට් 132 ලයින් තුනක් උඩින්
රැහැන් අදින්න වුණා. ඒ කිසිම අවස්ථාවක විදුලිය විසන්ධි කරන්නෙ නැතිව අවදානමක් අරගෙන තමයි රැහැන් ඇද්දෙ. ඇත්තටම ඒක අපිට ලොකු අභියෝගයක්. ඒ වගේම මේ ගමන් මගේ ජල පෝෂක ප්‍රදේශ බොහොමයක් තිබුණ. ඒවා බොහොම වටින පරිසර පද්ධති. ඉතින් ඒවත් ආරක්ෂා කරගෙන තමයි ඉදිකිරීම් කටයුතු සහ සියලු සැලසුම් කටයුතු කළේ.”

2018 සිට 2023 දක්වා ව්‍යාපෘතිය අවුරුදු පහක් පුරා ක්‍රියාත්මක විය. මෙරට කාලගුණය වෙනස් වන්නේ ක්ෂණයකින්ය. මේ සම්ප්‍රේෂණ මාර්ගය දිවයන මග පසුකරන විවිධ දේශගුණික කලාප වේ. එනිසා එකී කලාපවලට ආවේණික කාලගුණික අභියෝග ජය ගැනීමද ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඇතැම් කාලවලදී අධික වාර්ෂාපතනයන්ය. ඒවා වැළැක්විය නොහැක. එහෙත් ඒවාට අනුගත වෙමින් කටයුතු කළ හැකිය. එනිසා විදුලි ඉංජිනේරුවන් මේ කාලසීමාවන්ට අදාළව සැලසුම් කටයුතු කළේ කාලගුණ වාර්තාවන්ද අතැතිවය. සැබැවින්ම එය ඉලක්කගත කාල සීමාව ඇතුළත ව්‍යාපෘතිය අවසන් කිරීමේ අරමුණු වෙනුවෙන් ඉංජිනේරුවන් තුළ වූ කැපවීම සහ ඕනෑකම පෙන්වන අවස්ථාවකි. ඔවුනගේ අතපසුවීමකින් එක් දිනක් හෝ ව්‍යාපෘතිය ඇදෙනවාට ඔවුන් කිසිසේත් කැමැති වූයේ නැත.

රඛිත ගේ කාර්යයෙන් පසුව එළැඹුණේ ව්‍යාපෘතියේ අවසන් අදියරයි. එය කිලෝ මීටර් 25කි. එහි මූලික කටයුතු සිදුකළේ ඉංජිනේරු චමිල් එදිරිමුණිය. උසස්වීමක් නිසා ඔහු එම ව්‍යාපෘතියෙන් ඉවත්වුණු පසූ එයට සම්බන්ධ වූයේ විදුලි ඉංජිනේරු ප්‍රභාත් වරකාඋල්ලයි.

“මේ කිලෝ මීටර් 25 ඇතුළෙ මම කළේ රැහැන් ඇදීමේ කටයුතු. එතනදි මටත් කිලෝ වොල්ට් 132 ලයින් 2ක් හරහා ඊට උඩින් රැහැන් අදින්න වුණා. එතනදිත් අපේ ඉංජිනේරු දැනුම, ආරක්ෂාව සියලු දේ පාවිච්චි කරල සාර්ථකව ඒ රැහැන් අදින්න පුළුවන් වුණා. ඒ වගේම සමහර කඳු මුදුන්වලට මීටර් 100, මීටර් 200 බඩු අරගෙන ගියේ මිනිසුන්ගේ කර මතින්, පයින්. මොකද ඒ තැන්වලට වාහනවලට යන්න පුළුවන් මාර්ග තිබුණෙ නෑ.”

එමෙන්ම මේ කිලෝ මීටර් 25 තුළ වූ තවත් සොඳුරු දසුනක් විය. එනම් දැරණියගල ආශ්‍රිත ප්‍රදේශයේ රැහැන් ඇදීමේදී කඳු මුදුන් දෙකක් යා කර රැහැන් ඇදිය යුතු විය. ඇතැම් තැන්වල ඒ කඳු අතර පරතරය කිලෝ මීටරයකට වැඩිය. එනිසා ඒ තැන්වල සම්ප්‍රේෂණ රැහැන් ඇදීමේදී, විදුලිය ගෙන යන රැහැන් දෙකක් එකිනෙකට ස්පර්ශ නොවන්නට ඒ දෙක අතර Spacers කළ යුතු වේ.

“ඇත්තටම ඒක ඉතාම අවදානම් වැඩක්. කිසිදු ආධාරකයක් නැතිව කම්බියක් දිගේ ඇදී යන බයිසිකලයක් භාවිතයෙන් තමයි ඒ Spacers සවි කළේ. ඒකට විශේෂ නිපුණතාවක් අවශ්‍යයි.” ප්‍රභාත් පවසන්නේය.

සැබැවින්ම එම ක්‍රියාවලිය බිම සිටින්නෙක් එය දකිනුයේ විශ්මිත සර්කස් සංදර්ශනයක් ලෙසිනි.

“ඒ වගේම සිරිපාගම තේ වත්තක් මැදින් දිවෙන කොටස උඩින් රැහැන් ඇදීමට යෑමේදී ඇති වූ තත්ත්වයත් අමතක කරන්න බෑ. ව්‍යාපෘතිය යම් ප්‍රමාදයක් වුණා නම් ඒ සිදුවීම තමයි වුණු බලපෑම. කොහොම වුණත් අවසානයේ සියල්ල සුබවාදීව නිමවුණ නිසා ජාතික වැදගත්කමකින් යුක්ත ව්‍යාපෘතියක් සාර්ථකව නිමා කරන්න පුළුවන් වුණා. ඒ ගැන අපි හැමෝටම සතුටුයි.” ප්‍රභාත් වරකාඋල්ල පවසන්නේ සැනසුම් සුසුම් හෙළමිනි.

ව්‍යපෘති අධ්‍යක්ෂවරයා සහ මීට සම්බන්ධ වුණු කණ්ඩායමේ ඉජිනේරුවාගේ සිට බිමේ වැඩ කළ කම්කරුවා දක්වා මේ සම්ප්‍රේෂණ මාර්ගය වෙනුවෙන් දිවා රෑ වෙහෙසවී කටයුතු කළෝ වෙති. මේ ව්‍යාපෘතිය පරිසර හිතකාමී, ජනතාහිතවාදී ව්‍යාපෘතියක් විය. විශේෂයෙන් මෙහිදී නැවත සිහිපත් කළ යුතු නාමයක් ඇත. එනම් සිවිල් ඉංජිනේරු චන්දන කුමාර. ඔහු සෑම අතින්ම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් දායක වූ අයෙකි. මේ ව්‍යාපෘතිය කළ කාල සීමාව ඇතුළත විදුලි ඉංජිනේරුවන් වෙත දැඩි වගකීමක් පැවරී තිබිණි. මේ
සා දැවැන්ත ව්‍යාපෘතියක් අවසානයේ ඒ වෙනුවෙන් දායක වූවන්ට මලින් පුදන්නට කිසිවෙක් නැති වුවද, කිනම් හෝ අතපසුවීමක් වූයේ නම් ඊට ගල් ගසන්නෝ නම් බහුලය. එනිසා දශමයක හෝ අතපසුවීමක් නොකිරීමට ඉංජිනේරුවෝ වගබලා ගත්හ. මල් නැති වුවද, මේ සිදුකළ දැවැන්ත මෙහෙවර මෙරට විදුලි ඉංජිනේරු ඉතිහාසයේ සුවිශේෂී ඉඩඉමකි. එය මෙරට විදුලි සම්ප්‍රේෂණය හා බෙදාහැරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමකි.
සම්ප්‍රේෂණ කුලුනු 452ක් ඉදිකර ඒ මත මීටර් 40ක්, 50ක් ඉහළින් රැහැන් 14ක් කිලෝ මීටර් 150ක් දුර ඇද දකුණු පළාතට කිලෝ වොට් 220ක විදුලිය සම්ප්‍රේෂණය කිරීමේ කතාවේ වූ අපේ ඉංජිනේරුවන්ගේ වෘත්තීය නිපුණතාව සහ කැපවීම මෙරට විදුලි සම්ප්‍රේෂණ ඉතිහාස පොතේ රන් අකුරින් සටහන් කළ යුතුය.

මූලාශ්රය: වයින්

Translate