Home » රාජ්‍ය නොවන පළමු වෛද්‍ය පීඨය ඇරඹීමට සූදානම් – ජනපති
Asia Featured News Politics South Asia Sri Lanka

රාජ්‍ය නොවන පළමු වෛද්‍ය පීඨය ඇරඹීමට සූදානම් – ජනපති

විදේශිකයන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඊයේ (08) පස්වරුවේ ජෝසප් ෆ්‍රේසර් රෝහලේ 100 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

වැඩි වශයෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට නම් තවත් වෛද්‍ය පීඨ මෙන්ම විශ්වවිද්‍යාල ද මෙරට ආරම්භ කළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් මෙරට සෞඛ්‍ය සේවා ශ්‍රම බලකාය පරිවර්තනයකට ලක් කරන බවද පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“ජෝසෆ් ෆ්‍රේසර් රෝහල යනු රෝහලක් පමණක්ම නෙවෙයි, එය අද වන විට වසර සියයක් සම්පූර්ණ කරන ආයතනයක් ද වෙනවා. ෆ්‍රේසර්වරුන් පැවත එන්නේ ස්කොට්ලන්තයේ ප්‍රසිද්ධ පරපුරකින්. එහි සිට තමයි ජෝසෆ් ෆ්‍රේසර් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ.”

“බ්‍රිතාන්‍යයන් මෙරටට තේ කර්මාන්තය හඳුන්වා දුන් අවධියේ ජෝසෆ් ෆ්‍රේසර් මහතා වැවිලිකරුවෙකු ලෙස කටයුතු කළා. ඔහු ශ්‍රී ලංකාවේ පිටකන්ද වතුයාය කේන්ද්‍ර කරගනිමින් වැවිලි කර්මාන්තයේ නියැලුනා. අවසානයේ ඔහු මෙරටදීම මිය ගියා.”

“ජෝසෆ් ෆ්‍රේසර් මහතා සහ අනෙකුත් වැවිලිකරුවන් අතර තිබෙන වෙනස වන්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකාවේ යම් සලකුණක් තබා යාමට කටයුතු කිරීමයි. ශ්‍රී ලංකාව ඔහු සේවය කළ රට වගේම ශ්‍රී ලංකාව ගොඩනැඟීමට ද ඔහු දායක වී තිබෙනවා.”

“මෙරට වැවිලි කර්මාන්තයේ නිරතව ලාභ උපයාගත් අනෙකුත් සිය ගණනක් වැවිලිකරුවන් අතර ජෝසෆ් ෆ්‍රේසර් මහතා සහ ඔහුගේ පවුලේ අය මේ රටට යමක් ඉතිරි කර යන්නට කටයුතු කළා. ඒ තමයි මෙම ජෝසෆ් ෆ්‍රේසර් රෝහල. මෙම රෝහල ආරම්භ කරන අවධියේ මෙම ප්‍රදේශය දියුණු තත්ත්වයක තිබුණේ නැහැ.”

“මගේ සීයා මගේ නැන්දට සිරිපා පාරේ ඉඩමක් අරන්දී තිබුණා. ඒ නිසා මගේ අම්මා නිතරම එම ප්‍රදේශයට යනවා. එදා මෙම පළාත තනිකරම හිස් භූමියක් ලෙසයි පැවතියේ. වැඩිම වුණොත් මෙම මාර්ගයේ ඉදිරියට යන විට නිවාස දෙක තුනක් පමණයි දකින්න ලැබුණේ. එසේ වූවත් එදා මෙම රෝහල සෑම කෙනෙකුගේම අවධානයට ලක් වුණා. මෙම රෝහල මෙරට කාන්තා පරපුරට ලබාදී අති තිළිණයක් ලෙස සැලකිය හැකියි. එසේම මෙම රෝහල පිළිබඳ අප සියලුදෙනා ආඩම්බර විය යුතුයි.”

“මේ ආයතනය හොඳින් නඩත්තු කෙරෙනවා. සුමල් පෙරේරා මහතා නයින්වෙල්ස් රෝහලෙන් මෙම කටයුතු ආරම්භ කර දැන් මේ දක්වා සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. අපට ඇති දේ සහ අපට කළ හැකි දේ පිළිබඳ එය හොඳම උදාහරණයක් බව කිව යුතුයි.”

“ශ්‍රී ලංකාවේ ඇති මෙවැනි රෝහල්වලට ඉදිරියේ දී මෙරට ජනතාව වෙනුවෙන් පමණක් නොව විදේශිකයන් වෙනුවෙන් ද අවශ්‍ය සේවා සැපයීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙම රෝහල දෙස බැලීමේදී මෙය රෝහලක් ද හෝටලයක් ද කියා සිතා ගැනීම අපහසුයි. රෝහලක සේවාවන් සිදුවිය යුත්තේ මේ ආකාරයටයි. එම සේවාවන් උසස් ප්‍රමිතියකින් පවත්වාගෙන යා යුතුයි. විදේශිකයන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කරන්නේ නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය සහ සෞඛ්‍ය සේවා ඉතා ඉහළ ප්‍රමිතියකින් පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි. එම ප්‍රමිති මට්ටම සඳහා මෙම රෝහල හොඳ උදාහරණයක් බව කිවහැකියි.”

“මෙරට රෝහල් පද්ධතිය පෞද්ගලික රෝහල් හා රජයේ රෝහල් ලෙස වෙන් කර තිබෙනවා. ඒ වගේම වෛද්‍යවරු විශාල පිරිසක් දැන් රට හැර යමින් සිටිනවා. මෙවන් පසුබිමක් තුළ අපට වැඩි වැඩියෙන් වෛද්‍යවරුන් බිහි කිරීමට සිදුවී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා.”

“දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) අප මේ වනවිට මොරටුව විශ්වවිද්‍යාලයට ලබාදී තිබෙනවා. ඒ වගේම තවත් වෛද්‍ය පීඨ සහ විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. වැඩිපුර වෛද්‍යවරුන් බිහි කිරීමට අනුගමනය කළ ක්‍රමය එයයි. මේ සඳහා වෙනත් විකල්පයක් නැහැ.”

“ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් නොමැතිව අද වනවිට එක්සත් රාජධානියට තම රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට අසීරු තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒ අනුව පාකිස්තානය, බංග්ලාදේශය සහ ඉන්දියාව සමග එක්ව, අප එක්සත් රාජධානියේ රෝහල් පද්ධතිය පාලනය කරමින් සිටින බව පැවසුවොත් නිවැරදියි. ඒ අනුව ශ්‍රී ලංකාව ආධාර ලබන රටක් පමණක් නෙවෙයි, ආධාර ලබාදෙන රටක් බවට ද පත් වෙනවා.”

“ඒ වගේම පෞද්ගලික අංශයට සහ රාජ්‍ය අංශයට එකට වැඩ කළ හැකි නව ක්‍රමවේදයක් අප දැන් සකස් කර තිබෙනවා.”

“එසේම සෑම පුරවැසියෙකුටම යම් වෛද්‍ය රක්ෂණයක් ලබාදීමට අප අපේක්ෂා කරනවා. එවිට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රජයේ රෝහලකට යනවාද, නැතිනම් පෞද්ගලික රෝහලකට යනවාද කියා ජනතාවටම තීරණය කළ හැකියි. අප අවධානය යොමු කළ යුත්තේ මෙම කරුණු පිළිබඳවයි.”

“ඇත්ත වශයෙන්ම මෙම දිනවල මමත් වෛද්‍යවරයෙක් වගේ කියා මට දැනෙනවා. මරණයට ආසන්නව සිටින රෝගියෙකු ඉන් මුදවා ගැනීමට මට සිදුවී තිබෙනවා. ඒ වගේම මම තවමත් එම රෝගියාට සාත්තු කරමින් ඔහුව බේරා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. මට අවස්ථාවක් ලැබුණොත් මම ඔහුව ජෝසප් ෆ්‍රේසර් නයින්වෙල්ස් රෝහල වෙත එවනවා. නමුත් අවාසනාවකට, මට ඔහුව භාණ්ඩාගාරයේ තබාගෙන ප්‍රතිකාර කිරීමට සිදුවී තිබෙනවා.”

“අප සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක් තුළ නව ක්‍රමවේදයක් ඔස්සේ දිගු ගමනක් යා යුතුව තිබෙනවා. ඒ තුළ පුද්ගලික ව්‍යවසායන්ට ද දියුණු වී ඉදිරියට යා හැකියි. එසේ නොමැතිව රටක් දියුණු කිරීමට හැකියාවක් නැහැ. එසේම රටකට දියුණු වෙන්නත් බැහැ.”

මූලාශ්‍රය: අදදෙරණ

Translate