Home » රාජ්‍ය නිලධාරීන්ට එරෙහි පැමිණිලි කරන්න දුරකතන අංකයක්
Asia Featured News Politics South Asia Sri Lanka

රාජ්‍ය නිලධාරීන්ට එරෙහි පැමිණිලි කරන්න දුරකතන අංකයක්

රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව සිදුකරන පැමිණිලි විමර්ශන කටයුතු විනිවිදභාවයකින්, කඩිනමින් අවසන් කරන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

විමර්ශන අංශයේ නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ කිසිදු බලපෑමකට යටත් නොවී ලැබී ඇති පැමිණිලි විමර්ශන කටයුතු සිදු කරන ලෙසයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ලැබෙන පැමිණිලි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලබයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති විශේෂ දුරකථන අංකය වන 1905 ට ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

මීට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පවතින පුරප්පාඩු වහාම පිරවීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස නිලධාරීන්ට මෙහිදී රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා උපදෙස් ලබා දෙන ලදී.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ පාලන, ගිණුම්, සැලසුම් , දිස්ත්‍රික් පාලනය සහ ප්‍රාදේශීය පාලන ඒකක ඇතුළු අංශ කීපයක් පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රගතිය පිළිබඳව සොයා බලන ලදී.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරු මෙන්ම අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

මූලාශ්‍රය : ලංකා නිවුස්

Translate