Home » ශ්‍රී ලංකන් ගුවන් යානයක් හදිසියේ ගොඩබෑවයි කියන කතාව බොරු
Asia Featured News South Asia

ශ්‍රී ලංකන් ගුවන් යානයක් හදිසියේ ගොඩබෑවයි කියන කතාව බොරු

ඉන්දියාවේ නවදිල්ලිය බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 195 දරන ගුවන් යානය හදිසි ගොඩබැස්වීමක් කළ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම අවධාරණය කරයි.

ඉන්දියාවේ නවදිල්ලිහි පිහිටි ඉන්දිරා ගාන්ධි ගුවනටුටළ වෙත පෙරේදා (23) හදිසි ගොඩබැස්වීමක් සිදුකළ බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍යක් වන අතර එම ගුවන්යානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්නොකළ බවද එම ගුවන් සේවය ප්‍රකාශ කරයි.

කෙසේ නමුත් එම ගුවන් යානයේ හයිඩ්‍රොලික් පද්ධතියක සුළු දෝෂයක් හටගෙන තිබෙන අතර එවැනි සිදුවීම් කලින් කලට වාර්තාවීම සාමාන්‍ය තත්ත්වයක් වන බවද එහිදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගුවන් යානා කාර්යමණ්ඩල පූර්ණ වශයෙන් පුහුණුව ලබා සිටින බවද සදහන් කරයි.

මෙවැනි අවස්ථාවක දී සාමාන්‍යයෙන් අනුගමනය කරන ආරක්ෂක පියවරක් වශයෙන්, UL 195 ගුවන් යානයේ නියමුවන් විසින් යානය ගොඩබැස්වීම සඳහා වඩාත් දීර්ඝ ධාවන පථයක් ඉල්ලා සිට ඇති අතර යානය ගොඩබැස්වීම කිසිඳු ගැටලුවකින් තොරව සුරක්ෂිත ලෙස සිදුවූ බවද එය නඩත්තු කටයුතු සඳහා ගුවන් තොටුපළේ නඩත්තු ස්ථානය වෙත රැගෙන යනලද බවද ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි. නියමිත වේලාවට පෙර දිල්ලි නගරය වෙත ළඟා වූ UL 195 ගුවන් යානයේ මගීන් සියලුම දෙනා ආරක්‍ෂිත ලෙස ඉන්පිටවූ අතර, ඔවුන්ගේ ගමනට කිසිඳු බාධාවක් ඇති නොවීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය කවදත් සිය මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙන අතර ඒ අනුව මගීන්ගේත් කාර්යමණ්ඩලයේත් ආරක්ෂාව තහවුරු කරමින්, නිසි ක්‍රියාපටිපාටීන්ට අනුව සුරක්ෂිත ලෙස යානය ගොඩබැස්වීමට UL 195 ගුවන් යානයේ කාර්ය මණ්ඩලය නොපමාව පියවරගෙන තිබූ බවද ශ්‍රීලංකන් ගුවන් සේවය සදහන් කරයි.

මූලාශ්‍රය : දිනමිණ

Translate