Home » ඉන්දු- ශ්‍රී ලංකා සම්බන්ධතාවය අතිශය වැදගත් – ඉන්දීය විදේශ ඇමති කියයි
Economy Featured India News Politics Sri Lanka

ඉන්දු- ශ්‍රී ලංකා සම්බන්ධතාවය අතිශය වැදගත් – ඉන්දීය විදේශ ඇමති කියයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෞභාග්‍යමත් අනාගතයක් සඳහා සමුද්‍රීය, ගුවන්, බලශක්ති, වෙළෙඳ, අයෝජන සහ ඩිජිටල් සබඳතා වැනි විවිධ ක්ෂේත්‍රවල සම්බන්ධතාවය අතිශය වැදගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අවධාරණය කරයි.   

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ ඉන්දියා – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයන් සහ විවිධ පක්ෂ නායකයන් අතර හමුවක් ඊයේ(23) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවතිණ. මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූහ.

වීඩියෝ පණිවිඩයක් හරහා එම හමුව අමතමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ දෙරට අතර භූගෝලීය ආසන්නතාවය සහ බෙදා හදා ගන්නා ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් මත ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය උදෙසා ලබා දී ඇති ධනාත්මක දායකත්වයන් පිළිබඳව අදහස් දැක්වීය. 

ශ්‍රී ලංකාව විසින් පසුගිය වසරේදී මුහුණ දෙන ලද ආර්ථික අභියෝගයන් හමුවේ ඉන්දියාව සිය “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය පිළිඹිබු කරමින් ශ්‍රී ලංකාවට කඩිනමින් සහ සැලකිය යුතු ලෙස ප්‍රතිචාර දැක්වූ බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය. ජා‍ත්‍යන්තර ආයතන සහ ද්විපාර්ශවික සහකරුවන්ගේ ප්‍රතිචාරය ඉක්මවා යමින් ඉන්දියාව විසින් ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක් පමණ ‍වන මූල්‍ය සහයෝගය ප්‍රමාණය සහ වේගවත් බව යන දෙයාකාරයෙන්ම පෙර නොවූ විරූ සහයෝගයක් බව ඔහු අවධාරණය කළේය. 

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳව සඳහන් කරමින් අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කළේ දෙරට නායකයන් අතර පැවති සාකච්ඡා පොදු සහයෝගිතා දැක්ම පිළිඹිබු කරමින් වෙළඳ, ආයෝජන සහ ජනතාව අතර සම්බන්ධතාවය ඉහළ නැංවීමට වන කැපවීම ශක්තිමත් කළ බවයි. 

කලාපීය ආරක්ෂාව පිළිබඳව සඳහන් කරමින් විදේශ කටයුතු ඇමතිවරයා ඉන්දියාවේ “කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය”(SAGAR) යන දැක්ම සහ කොළඹ ආරක්ෂක පර්ෂදය, ඉන්දියානු සාගර වටද්දර සංගමය (IORA) සහ BIMSTEC වැනි විවිධ සංවිධාන හරහා එය ප්‍රකාශ වී තිබෙන බව අවධාරණය කළේය. 

මෙම අවස්ථාව අමතමින් ශ්‍රී ලංකා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ද්විපාර්ශවික සබඳතා පවතින බව සඳහන් කළ අතර දෙරට ව්‍යවස්ථාදායක ආයතන අතර සංවාදය සහ සහයෝගීතාවය පෝෂණය කිරීමෙහි ලා වැදගත් වේදිකාවක් වශයෙන් ඉන්දියා – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය විසින් ඉටු කරන භූමිකාව අවධාරණය කළේය. 

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මහ කොමසාරිස්වරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෑතකදී සිදු කරන ලද ඉන්දීය සංචාරය සිහිපත් කළ අතර දෙරටට ම ආර්ථික සමෘද්ධිය ගෙන ඒමෙහිලා සම්බන්ධකතාවය විසින් ඉටු කරන කේන්ද්‍රීය භූමිකාව අවධාරණය ක‍ළේය. 

මේ අතර හමුව ඇමතූ ඉන්දියා – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය අගය කළ අතර දෙරට අතර වඩා ශක්තිමත් පාර්ලිමේන්තු සබඳතා ඇති කර ගත යුතු බව සඳහන් කළේය. 

මූලාශ්‍රය : සිළුමිණ

Translate