Home » G-20 සමුළුව, ඉන්දියාව සහ පුටින්
Europe Featured Global News India News Politics Russia

G-20 සමුළුව, ඉන්දියාව සහ පුටින්

මේ වසරේ සැප්තැම්බර් 9 වනදා සහ 10 වනදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G- 20 කණ්ඩායමේ 18 වන රාජ්‍ය නායක සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහභාගී වන්නේ ද යන්න පිළිබඳ ඉන්දියාව පසුවන්නේ අවධානයෙනි.

ජනපති පුටින් සමුළුවට සහභාගී වන්නේ ද නැද්ද යන්න ක්‍රෙම්ලින් මන්දිරය මෙතෙක් තහවුරු කර නොමැති බව වාර්තා වේ.

පසුගිය දිනක රුසියානු ජනාධිපතිවරයා වෙත ඒ පිළිබඳ ප්‍රශ්නයක් යොමු වූ අවස්ථාවේ ඔහු පිළිතුරු ලබා දී ඇත්තේ “මම ඒ බව තවම දන්නේ නැහැ. මම ඒ ගැන සිතා නැහැ. එය ඉදිරියේ දී තීරණය වේවි. නැත්නම් අපි බලාපොරොත්තුවෙන් ඉඳිමු (I don’t know yet. I haven’t thought about it. Well have to see) යනුවෙනි.

ජනපති පුටින් සමුළුවට සහභාගී වන්නේ නම්, ඔහුට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්, ප්‍රංශ ජනාධිපති එමානුවේල් මැක්‍රොන් ඇතුළු බටහිර නායකයන් සමඟ මුහුණට මුහුණලා සංවාදයක නිරතවීමට හැකි වේ.

ඇත්තෙන්ම එය උණුසුම් වාග් සංග්‍රාමයක් වනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වනදා යුක්රේන ආක්‍රමණය ආරම්භ වූ දා සිට මේ දක්වා කිසිදු බටහිර නායකයෙක් ජනපති පුටින් හමුවී නොමැති බව සඳහන්ය.

එහෙත් G-20 සමුළුවේ දී ඔවුන්ට එක වේදිකාවකට පැමිණීමට සිදුවේ. 

G-20 සමුළුවට ජනපති පුටින්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය වන්නේ, සත්කාරක රට වශයෙන් ජනපති පුටින්ට ද සමුළුව සඳහා ආරාධනා කළ යුතු බවයි. 

එය දැනටමත් සිදුකර ඇතත් ඒ සම්බන්ධයෙන් ජනපති පුටින්ගේ පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ප්‍රකාශ කර ඇත.

ජනපති පුටින් සමුළුවට සහභාගීවනු දැකීම ඉන්දියාවේ අපේක්ෂාවක් බවත්, එහෙත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් පැවසිය නොහැකි බවත් ඔහු පැවසීය.

යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියානු ජනාධිපති පුටින් රටවල් 8ක සංචාරය කර තිබේ. 

ඉන් රටවල් 5ක්ම මධ්‍යම ආසියානු රටවල් වන කසකස්තානය, උස්බෙකිස්තානය, තුර්ක්මෙනිස්තානය, තජිකිස්තානය සහ කිර්ගිස්තානයයි.

ඇත්තෙන්ම මධ්‍යම ආසියාවට අයත් එම රටවල් පහේම සංචාරය කළ රුසියානු ජනාධිපති පුටින් ඉරානය, බෙලරූස් රාජ්‍යය සහ ආර්මේනියාව යන රටවල ද සංචාරයන්හි නිරත විය.

ජනපති පුටින් සංචාරය කළ එම රටවල් සියල්ලේම පාහේ පොදු කරුණු 2ක් දක්වන්නේ නම්, එම රටවල් සියල්ල රුසියාවේ සමීපතම මිතුරු රටවල් මෙන්ම බටහිර විරෝධී ආකල්පයක් දැරීම සැලකිය හැකිය. 

නමුත් ඉන්දියාවේ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් වන්නේ, ඉන්දියාව ඒ එක කණ්ඩායමකට හෝ අයත් නොවීම හේතුවෙනි.

ඉන්දියාව රුසියාව සමඟ බෙහෙවින් සමීප සබඳතාවක් පවත්වාගෙන යන අතර, අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් සමඟ ද හොඳ සබඳතාවක් පවත්වාගනිමින් සිටියි.

මේ නිසා ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුවට ජනපති පුටින් සහභාගී වන්නේ ද යන්න තවමත් විවාදාත්මක කරුණකි. 

යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු පැවැත්වෙන 2 වන G-20 සමුළුව මෙයයි. 

2022 වසරේ ඉන්දුනීසියාවේ පැවති සමුළුවට ජනපති පුටින් සහභාගී වූයේ නැත. 

ජාත්‍යන්තර අපරාධ අධිකරණය මඟින් ජනපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ අතර, දකුණු අප්‍රිකාව ද ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටකි. 

දකුණු අප්‍රිකා රජය එවැනි පියවරකට සූදානම් නොවූවත් BRICS සමුළුවට සහභාගී නොවීමට ජනපති පුටින් තීරණය කළේය. 

එහෙත් ඉන්දියාවේ දී ඒ ගැටලුව පැන නොනගින්නේ, ඉන්දියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණ සම්මුතියට අත්සන් තබා නොමැති බැවිනි. 

එහෙත් ඒ හේතුවෙන්ම ජනපති පුටින් G-20 සමුළුවට සහභාගී වන්නේ ද යන්න සහතිකව පැවසිය නොහැකිය. 

එහෙත් සහභාගී වන්නේ නම් ඔහු ඒ බව නිවේදනය කළ යුතුය. 

ජනපති පුටින් එලෙසින් මේ මාසයේ දී තුර්කියේ සංචාරය කරන බව දැන් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම ලබන ඔක්තෝබර් මාසයෙන් පසු චීනයේ සංචාරය කිරීමට ද නියමිතය. 

එය ද තහවුරු කර ඇති නමුදු නවදිල්ලි G-20 සමුළුවට සහභාගී වන්නේ ද යන්න ජනපති පුටින් සහතික කර නැත.

ඉන්දියාවට මේ සම්බන්ධයෙන් පවතින්නේ, තාක්ෂණික ගැටලුවකට වඩා දේශපාලනමය කරුණකි. 

ජනපති පුටින් ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුවට සහභාගී වුවහොත් ඊට බටහිර රටවල් කවර ප්‍රතිචාරයක් දක්වාවි ද යන්න ඉන්දියාවටත් ගැටලුවකි.

එවැනි තත්ත්වයක දී බටහිර රටවල් G-20 සමුළුවට වර්ජනය කරාවිද සහභාගී වූවත් ජනපති පුටින් සමඟ ඒකාබද්ධ ප්‍රකාශයන් නිකුත් කරාවි ද යන්න තවමත් පැවසිය නොහැකි කරුණකි.

පුටින්ගෙන් තොර G-20 සමුළුවක දී ගෝලීය ගැටලු, සාගින්න, කාලගුණ වෙනස ආදී ගැටලු සියල්ල වෙනුවට එහි දී යුක්රේනය ගැන විශේෂයෙන් සාකච්ඡා වීම වැළැක්විය නොහැකිය.

එහි දී ඉන්දියාවේ කාර්යභාරය තවත් ගැටලුසහගත වන්නේ, සත්කාරක රට ලෙස ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම ඉන්දියාවේ වගකීමක් බැවිනි.

ඒ සඳහා සියලු සාමාජික රටවල් එකඟ විය යුතුය. 

පසුගිය වසරේ G-20 සමුළුවේ දී ඉන්දුනීසියාව ඒ සඳහා සමත් වුවත් ඉන්දියාව සාර්ථකත්වයක් ලැබීම ඊට වඩා දුෂ්කර විය හැකිය. 

මේ වසරේ මාර්තු මාසයේ ඉන්දියාවේ පැවති G-20 විදේශ අමාත්‍ය සමුළුවේ දී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරුණේ නැත. 

ජුලි මාසයේ පැවති G-20 මුදල් අමාත්‍ය සමුළුවේදී ද ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරුණේ නැත.

සැප්තැම්බරයේ පැවැත්වෙන G-20 රාජ්‍ය නායක සමුළුවේදී ද එවැන්නක් සිදුවුවහොත් එය ඉන්දියාවට අත්වන බරපතළ අන්දමේ රාජ්‍ය තාන්ත්‍රික පරාජයක් වනු ඇත.

Source : Sinhala Adaderana

Translate