Home » සිවිල් විරෝධතා පාලනය කිරීම පිළිබඳ නිර්දේශිත මාර්ගෝපදේශ යථාර්ථයක් වෙයිද?
Featured News Sri Lanka

සිවිල් විරෝධතා පාලනය කිරීම පිළිබඳ නිර්දේශිත මාර්ගෝපදේශ යථාර්ථයක් වෙයිද?

සිවිල් විරෝධතා පාලනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ආරක්ෂක අංශ වෙත නිර්දේශිත මාර්ගොපදේශ මාලාවක් නිකුත් කරනු ලැබ තිබේ.

එයට ප්‍රධානම හේතුව වුයේ 2022 වසරේ මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග පැන නැගුණු සාමකාමී ජන විරෝධතාවයන් පාලනය කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා සහ පැමිණිලිය.

විරෝධතාවලදී හිංසනයට මුහුණ පෑමට සිදුවූ බව පවසමින් අවස්ථා රැසකදී විවිධ පාර්ශව විසින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනු ලැබ තිබේ.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සිවිල් වැසියන් විසින් කරනු ලබන උද්ඝෝෂණ සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී රාජ්‍ය සහ නීති ක්‍රියාත්මක කරනු ලබන නිලධාරින් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි පිළිබද නිර්දේශිත මාර්ගෝපදේශන මාලාවක් ( මැයි 12 වැනිදා) නිකුත් කර ඇත.

සිවිල් වැසියන්ට අපි තවමත් කන්දීලා නැහැ: ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

සිවිල් වැසියන් ගේ විරෝධතා පාලනය කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාව නිකුත් කරනු ලැබුවද එම කටයුත්තේදී මෙතෙක් සිවිල් වැසියන්ට සහ විරෝධතාකරුවන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කන්දීමක් කර නොමැති බව එහි සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන රෝහිණි මාරසිංහ බීබීසී සිංහල සේවයට පැවසුවාය.

“අරගලය සිදුවන අවස්ථාවේදී පොලිසිය දැනගෙන හිටියේ නැහැ කොයි අවස්ථාවේදී ද පොලිසිය මැදිහත් විය යුත්තේ, කොයි අවස්ථාවේදී පොලිසිය මැදිහත් නොවිය යුත්තේ කියන එක සහ විරෝධතාකරුවන් කොයි වේලාවේද නීතිවිරෝධී වෙන්නේ කියලා සහ බලය පාවිච්චි කළ යුත්තේ කුමන අවස්ථාවේදී ද කියන එක එයාල දැනගෙන හිටියේ නැහැ.”

“පොලිස්පතිතුමා ඉල්ලීමක් කළා මෙවැනි අවස්ථාවකදී පොලිසිය ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන නිර්දේශ මාලාවක් ලබාදීමට හැකිද කියා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්.”

“එම ඉල්ලීම පදනම් කරගෙන අපි නීතිපතිවරයා ද ඇතුළුව විශේෂඥයින් කිහිපදෙනෙක් එක්ව මෙම සැකැස්ම සකස් කළා.”

“පසුව රජය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කියන අංශ පහ සමගත් සාකච්ජා කිරීමෙන් පසුවයි අප මේ නිර්දේශ මාලාව සකස් කරනු ලැබුවේ.”

“මෙහි තියෙන්නේ අපි යෝජනා කර තිබෙන නිර්දේශයි.”

“මතක තියා ගත යුතු කාරණයක් තමයි මේකට අවශ්‍යම පුද්ගලයින් තමයි විරෝධතාවයන් හී යෙදෙන සිවිල් පුරවැසියන්. සිවිල් වැසියන්ට අපි තාම කන් දීලා නැහැ. ඒක කන් දිය යුතුමයි. අපි එයාලට, මානව හිමිකම් ක්‍රියාකාරීන්ට, සිවිල් සමාජයට, පොදුවේ මහජනතාවට අපි කන්දිය යුතුයි.”

“ඒ නිසා අපි මේක අපගේ වෙබ් අඩවියේ පලකරලා අපි කතා කරනවා එයාලා ඔක්කොම ඔබ්සර්වේෂන්ස් වලට.”

“කතා කරල අපි ෆයිනල් එක තමයි දාන්න ඕන. ඒ ෆයිනල් එක තමයි ඊට පස්සේ තමයි මහජනයා සතු මාර්ගෝපදේශන මාලාවක් වෙනවා.”

“මේක පොලිස්පතිවරයා විසින් පොලිස් ආඥා පනතේ උචිත වගන්ති අරගෙන එයට ඇතුලත් කරනවා.”

“මේ අවස්ථාවේදී පොලිසියට අවශ්‍ය ඒවා මෙතනින් ගන්න පුළුවන්. හැබැයි මම බලාපොරොත්තු වෙනවා අර අවස්ථාවෙන් පස්සේ මේක නිර්දේශිත මාර්ගෝපදේශ කියන එක මාර්ගෝපදේශ ලෙසට මාරු වෙනවා. ඒක තමයි අවසන් ලියවිල්ල වෙන්නේ.” යනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය බීබීසී සිංහල වෙත පවසා සිටියාය.

Sri Lanka - Economic Crisis - Protest
ඡායාරූප ශීර්ෂ වැකිය,2022 ජූලි 14 වැනි දින, හමුදා සෙබළුන් පාර්ලිමේන්තු සංකීර්ණය අසල ආරක්ෂාවට යොදවා සිටි අයුරු

නිර්දේශිත මාර්ගෝපදේශ 07 මොනවාද ?

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මෙම මාර්ගෝපදේශ මාලාවෙන් නීති ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන් විසින් සාමකාමීව එක්රැස්වීමට ඇති අයිතියට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි අවසර ලත් සීමාවන් පිළිබඳව කරුණු දක්වා ඇත.

එමෙන්ම සිවිල් වැසියන්ගේ විරෝධතාවන් වලදී නීතිය ක්‍රියාත්මක කරනු ලබන නිලධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් නිර්දේශිත මාර්ගෝපදේශ 07ක් ද එහි සඳහන් කර ඇත.

සිවිල් වැසියන් විසින් කරනු ලබන උද්ඝෝෂණ සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී නීති ක්‍රියාත්මක කරනු ලබන ආයතන විසින් පිරිස් පාලනය කිරීම, නීති ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ කාර්යභාරය, අණ දෙන ධුරාවලිය සහ ඇඳිරි නීතිය හෝ හදිසි නීතිය ක්‍රියාත්මකව ඇති අවස්ථාවක උද්ඝෝෂණ පවතින විට ක්‍රියාත්මක විය යුතු ආකාරය ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහි සඳහන් කර ඇත.

Sri Lanka - Economic Crisis - Protest
ඡායාරූප ශීර්ෂ වැකිය,විරෝධතාවලදී හිංසනයට මුහුණ පෑමට සිදුවූ බව පවසමින් අවස්ථා රැසකදී විවිධ පාර්ශව විසින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනු ලැබ තිබේ.

1. නීති ක්‍රියාත්මක කරනු ලබන ආයතන විසින් පිරිස් පාලනය කිරීම

නීතිය ක්‍රියාත්මක කරන ආයතන මගින් ජනරාශිවීම් පාලනය, සියලු පුරවැසියන්ගේ සාමකාමී හැසිරීම සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිත්‍යානුකූල පෙළපාලි සම්බන්ධයෙන් බලධාරීන් සුදුසු පියවර ගත යුතු බව නිර්දේශ කොට ඇත.

ජනරාශි විසුරුවා හැරීමේ රාජකාරි කළ යුතු ආකාරය, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක රථ යොදා ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

2. විරෝධතා අතරතුර සහ ඉන් පසුව වගවීම

විරෝධතා පාලනය කිරීමේදී නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් කටයුතු කළ යුතු සහ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

එහිදී විරෝධතාවයක් සම්බන්ධ පුර්ව සුදානම, අනෙකුත් රාජ්‍ය දෙපාර්තමේන්තු සහ ආයතන සමග සම්බන්ධීකරණය සහ තොරතුරු හුවමාරු කර ගැනීම, අවශ්‍ය උපකරණ සම්පාදනය කර ගැනීම සම්බන්ධයෙන් ද මාර්ගෝපදේශ ඇතුලත් කර තිබේ.

03. අවශ්‍ය උපකරණ සම්පාදනය කිරීම සහ සකස් කිරීම

අයුතු ජනරාශි පාලනය කිරීමේ ක්‍රමවලට සම්බන්ධ උපකරණ, මාරාන්තික නොවන ආයුධ ( උදාහරණ ලෙස ජල ප්‍රහාරක, කඳුළු ගෑස් කැනිස්ටර්) සහ මාරාන්තික අවි, අයුතු ජනරාශියකදී සමුහයා පාලනය කිරීම සඳහා සුදානම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී නිර්දේශ ඉදිරිපත් කර ඇත.

එහිදී අවශ්‍යනම් ආයුධ සහ උපකරණ (කඳුළු ගෑස්වල රසායනික සංයුතිය පිලිබඳ) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය බලධාරින් විසින් ස්වාධීනව පරික්ෂාවට ලක් කළ යුතු බවට මෙහිදී මාර්ගෝපදේශ ඇතුලත් කර ඇත.

04. පුර්ව නිශ්චිත ප්‍රතිචාර

විරෝධතාවයන් අතරතුරදී සිදුවන දේපළවලට හානි සිදුකිරීම, ගිනි තැබීම්, මංකොල්ලකෑම්, විනාශ කිරීම්, ශාරීරික පහරදීම්, නිලධාරියෙකු හෝ ප්‍රජා සාමාජිකයෙකු ගලවා ගැනීමට අවශ්‍ය වන ගැටළු වැනි නිශ්චිත අපරාධමය ක්‍රියාකාරකම් ඇතුළුව නමුත් ඒවාට පමණක් සීමා නොවී ඇතිවන අපරාධමය ක්‍රියාවන්වලදී නීතිය ආරක්ෂා කරන නිලධාරීන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී උපදෙස් සහ නිර්දේශ ලබාදී ඇත.

05. විරෝධතා පිළිබඳ තොරතුරු රැස් කිරීම

ජනරාශි පාලනය කිරීමට අවශ්‍ය විය හැකි පිරිස් ඇතුළු එම විරෝධතාවයන් සම්බන්ධ තොරතුරු රැස් කිරීමේදී නිත්‍යානුකූල ආවේක්ෂණ උපක්‍රම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඉහළ පුහුණුව ලත් නිලධාරීන් යොදා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

06. නිශ්චිත උපායික විකල්ප මත තීරණ ගැනීම

විරෝධතා භූමියකදී ගත යුතු ජනරාශි පාලනය කිරීමේ ක්‍රියාමාර්ග තීරණය කිරීමේදී පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරීන් විසින් උපායික විකල්ප සහ තීරණ ගැනීමේදී අනුගමනය කළ යුතු නිර්දේශ පිලිබඳ පුළුල් මාර්ගොපදේශ මාලාවක් මෙහිදී සඳහන් කර ඇත.

එහිදී අවදානම් සහිත සහ විශේෂ කණ්ඩායම් සම්බන්ධයෙන් කටයුතු කිරීම, නීති විරෝධී ලෙස රැඳී සිටීම සහ දේපළ වලට සාපරාධි හානි කිරීම වැළැක්වීම, නීතිවිරෝධීව රැඳී සිටින්නන් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය පිලිබඳව මෙහිදී මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

07. ඇඳිරි නීතිය හෝ හදිසි නීතිය ක්‍රියාත්මකව ඇති අවස්ථාවක උද්ඝෝෂණයන් පවතින විට ක්‍රියාත්මක විය යුතු ආකාරය

යම් ප්‍රදේශයක ඇඳිරි නීතිය හෝ හදිසි නීතිය ක්‍රියාත්මක වන විටදී විශ්වාසනීය මුලාශ්‍ර හරහා, එය උල්ලංඝනය කිරීමක් සිදුවිය හැකි බව පෙනී යන විටදී ක්‍රියා කළ යුතු නිර්දේශයන් මෙහිදී මාර්ගෝපදේශ මාලාවට ඇතුලත් කර තිබේ.

Sri Lanka - Economic Crisis - Protest

‘අරගලය මර්දනය කිරීමට පොලිසිය ක්‍රියාත්මකයි’

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කුමන ආකාරයේ නිර්දේශ ඉදිරිපත් කරනු ලැබුවත් පොලිසිය එම නිර්දේශ අනුගමනය නොකරන බව සිවිල් සංවිධාන ක්‍රියාකරුවෙකු මෙන්ම ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් බීබීසී සිංහල සේවයට පැවසුවේය.

” පැහැදිලිවම අපි මේ මොහොතේ දකින දෙයක් තමයි පොලිසිය මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ සම්පුර්ණයෙන්ම අරගලය මර්දනය කරන එක අරමුණු කර ගෙනයි.”

“අපි දැක්කා අර සහෝදරියක් පයින් ආවා කියලා, එයාව අල්ලලා උසාවි දැම්මා. එතකොට මේ වගේ ජනතාව තුල බියක් ඇති කරන්න.”

“පහුගිය කාලයේ අපි දැක්කා මානව හිමිකම් කොමිෂන් සභාව දිගින් දිගටම කිව්වා 1856 පොලිස් ආඥා පනත ක්‍රියාත්මක කරන්න එපා කියලා. නිර්දේශයක් ලබා දුන්නා පොලිස් ආඥා පනත සම්බන්ධව. ඒකවත් මායිම් කලේ නැහැ පොලිසිය.”

“නිරන්තරයෙන්ම පොලිස් ආඥා පනත පෙන්න පෙන්න තමයි උද්ඝෝෂණ වලට ගැහුවේ පොලිසියේ අවසර ගත්තේ නැහැ කියලා.”

“ඉතින් අපි මෙහිදී දකින දේ තමයි මානව හිමිකම් කොමිෂන් සභාව මොන නිර්දේශ ඉදිරිපත් කලත් ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමේ වගකීම තමයි අපිට තියෙන්නේ.”

“මේගොල්ලෝ ඒක කරයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි ඒක කරවා ගන්න ඕන. මේගොල්ලෝ සම්පුර්ණයෙන්ම සමාජය ත්‍රස්ත කරලා, බිය ගන්වලා පවතින මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න බැහැ.” ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් එලෙස පැවසුවේය.

මූලාශ්රය: බීබීසී

Translate