Home » යූ.ජී.සී අනුමැතිය ලබාදීම ගැන සීමාවක්
Featured News Sri Lanka

යූ.ජී.සී අනුමැතිය ලබාදීම ගැන සීමාවක්

අනුබද්ධ විශ්වවිද්‍යාල සහ ඒවායේ පාඨමාලා සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ  අනුමැතිය ලබා දීමේදී එය විවිධ අලෙවිකරණ අරමුණු සඳහා අනිසි ලෙස භාවිත නොකිරීමට සහ එය  උපාධි ප්‍රදානය කරන විශ්වවිද්‍යාලයට පමණක් ලබා දීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමු විය.

මේ පිළිබඳව සාකච්ඡා වූයේ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය  ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් කිරීම සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ කාරක සභාව විසින් වෘත්තීයවේදීන් සහ සංගම් කැඳවා තිබිණි.  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු සහ එම්.එම්.එම්. මුස්තාපා, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ලංකා – ජර්මානු කාර්මික පුහුණු ආයතනය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය, රෝයල් ඉනිස්ටිටියුට් ආයතනයේ සභාපති ජී.ටී. බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

තවද, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) සහ ඊට අනුබද්ධ උසස් තාක්ෂණික ආයතනය (ATI) යන ආයතන වල ශිෂ්‍ය සංගම් නියෝජිතයින්ද කාරක සභාව හමුවට කැදවා අදහස් ලබා ගන්නා ලදී. 

එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල ලැබීම සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය අතර පවතින කාලය සිසුන්ට ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීමට නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු බව ද කමිටුවේ අදහස විය. තවද, උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව සහතික කිරීම සඳහා විවිධ උපාධි ප්‍රදානය කරන ආයතන නියාමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද පැවති කමිටු රැස්වීමේදී අවධානය යොමු විය.

මෙම කාරක සභා රැස්වීමට විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු රවුෆ් හකීම්, එරාන් වික්‍රමරත්න, මහාචාර්ය චරිත හේරත්, ඒ. අරවින්ද් කුමාර්, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

මූලාශ්‍රය : දිනමිණ

Translate