Home » උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන අද තීරණයක්
Featured News Sri Lanka

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන අද තීරණයක්

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට එක්වන්නේ ද ? නැද්ද ? යන තීන්දුව අද (11) රාත්‍රියේ පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

එම රැස්වීම අද රාත්‍රි 8ට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ආරම්භවීමට නියමිතව තිබේ. 

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ‘අද දෙරණ’ ට ප්‍රකාශ කළේ සරසවි ආචාර්යවරුන් නිසා සාමාන්‍ය පෙළ විභාගය කල්දැමීමට සිදුවූ බවට විභාග දෙපාර්තමේන්තුව එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 15 වනදා ආරම්භවීමට නියමිතව තිබූණත්, එය මැයි 29 වනදා දක්වා කල්දැමූ බව විභාග දෙපාර්තමේන්තුව ඊයේ (10) නිවේදනය කළේය.

එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා එක් නොවීමෙන් සිදුවන ප්‍රමාදය එලෙස සාමාන්‍ය පෙළ විභාගය කල්යෑමට ද හේතුවන බවය.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම දැනට දින 50කට ආසන්න කාලයක් පුරා ප්‍රමාදවී තිබේ.

ගුරුවරු එම කටයුතු ආරම්භ කිරීම සඳහා එකඟතාව පළ කළ ද විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙතෙක් ඊට එක්වීමට කැමැත්ත පළ කර නොමැත.

පාසල් සිසුන්ගේ මව්පියන් ද සරසවි ආචාර්යවරුන්ට චෝදනා කළේ ඔවුන්ගේ ක්‍රියාකලාපය නිසා සිය දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන බවටය.

මූලාශ්රය : Sinhala Adaderana

Translate