Home » ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය
Featured News South Asia Sri Lanka

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇතිවූ පීඩනයක් නිසා සිදුවී ඇතැ යි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේ ය.

මෙම සිද්ධියේ දී අපරාධයක් සිදුවී ඇතැ යි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා ය.

මරණ පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ වාර්තාවන් හා ඒ පිළිබඳව සොයාබැලීම සඳහා අධිකරණය විසින් පත් කෙරුණු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තාවන් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙම තීන්දුව ලබා දුන්නා ය.

අධිකරණය විසින් පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය කමිටුවේ බහුතර සාමාජිකයින්ගේ මතය 4 :1 ලෙස සඳහන්ව තිබූ බවත්, එය මෙම තීන්දුව සඳහා පදනම් කරගත් බවත් ඇය කියා සිටියා ය.

ඒවාට අනුව, මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බවත්, ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නිකුත් කළ නියෝගයේ සඳහන් විය.

අනතුරුව, පැමිණිල්ල මාර්තු මස 20 වන දා යළි කැඳවීමට නියෝග කෙරුණු අතර, එදිනට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිකුත් කළ නියෝගයේ සඳහන් විය.

මේ අතර, විමර්ශන කටයුතු සඳහා ගොඩගනු ලැබූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය කොළඹ ජාවත්ත ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක භූමදානය කිරීම සඳහා මහේස්ත්‍රාත්වරිය විසින් පසුගිය දා ඔහුගේ ඥාතීන්ට අවසර ලබාදෙනු ලැබුණි.

අදාළ මෘත දේහය භූමදාන කිරීමට පමණක් අවසර දෙන ලෙස විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය කමිටුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය ඉකුත්දා මෙම නියෝගය නිකුත් කළා ය.

ඒ අනුව, දැනට කරාපිටිය රෝහලේ රඳවා තිබෙන මෘත දේහය මරණකරුගේ ඥාතීන් වෙත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරිය මීට පෙර නිකුත් කළ නියෝගයේ සඳහන්ව තිබුණි.

මෙම මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන නමුත් ඊට අදාළව කිසිදු සැකකරුවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නැත.

මූලාශ්රය: බීබීසී

Translate