Home » Online ණය වින්දිතයන්ගේ කතාව: ‘ඔවුන් මට හරිම නින්දිත දේවල් කියමින් තර්ජනය කළා’
Economy Featured News South Asia Sri Lanka

Online ණය වින්දිතයන්ගේ කතාව: ‘ඔවුන් මට හරිම නින්දිත දේවල් කියමින් තර්ජනය කළා’

ඔබත් අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍යයේ සැරිසරන විට පහසුවෙන්, ඉක්මනින්, ලියකියවිලි නොමැතිව ණයක් ලබා ගන්නා ලෙස පළ කරන ලද ආකර්ෂණීය දැන්වීම් දැක තිබේ ද? එසේත් නොමැති නම් ඔබේ ජංගම දුරකථනයට එවැනි අන්තර්ගතයන් සහිත පණිවුඩ ලැබී තිබේ ද? එවැනි පණිවුඩ හෝ දැන්වීම් නිසා Online ණය ලබා ගෙන ඒවා ගෙවීමට නොහැකිව ගැටළු ගණනාවකට මුහුණ දෙමින් සිටින වින්දිතයෝ විශාල පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටිති.

කිසිදු නීතිමය පසුබිමක්, කාර්යාලයක් හෝ නොමැතිව පවත්වාගෙන යන මෙම Online ණය ලබා දෙන මූල්‍යායතන එල්ල කළ පීඩනය දරාගත නොහැකිව මෑතක දී ඉන්දියානු පවුලක් සිය දරුවන් සමඟ සියදිවි නසා ගැනීමත් සමඟ ඉන්දියාව තුළ ද මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. එම පවුලේ අයට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා ගත් ඇමතුම් ශ්‍රී ලංකාවේ සිට ගත් ඒවා බවට ඉන්දීය පොලිසිය විසින් අනාවරණය කරගනු ලැබීමත් සමඟ ශ්‍රී ලංකාව සම්න්ධයෙන් ද ඔවුන් අවධානය යොමු කර තිබේ.

භාණ්ඩ මිල ඉහළ යාම හා ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසකට එදිනෙදා වියදම් පවා පියවා ගැනීමේ අපහසුතා පවතියි. එවැනි අවස්ථාවක දී බොහෝ පිරිස් ණයක් ගැනීමට පෙළඹිය හැකිය. මෙවැනි මාර්ගගත ක්‍රම හරහා ලබා දෙන ණය මුදල් ඉක්මනින් ලබා ගැනීමට හැකි නිසා බොහෝ අය මෙම ජාවාරමේ බිල්ලක් බවට පත් වී තිබේ.

ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකතනයට සහ ඩිජිටල් අනන්‍යතාවයන්ට ඇතුළුවීමේ හැකියාව එම ආයතන වලින් ලබා ගෙන තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය,ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකතනයට සහ ඩිජිටල් අනන්‍යතාවයන්ට ඇතුළුවීමේ හැකියාව එම ආයතන වලින් ලබා ගෙන තිබේ.

ණය මුදල ලබා ගැනීමේ දී සම්පූර්ණ කළ යුතු පියවර, එම ණය දෙන ආයතන ඒ ජංගම දුරකතන යෙදවුමක් හරහා සිදු කෙරෙන අතර එම පියවර මඟින් ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකතනයට සහ ඩිජිටල් අනන්‍යතාවයන්ට ඇතුළුවීමේ හැකියාව එම ආයතන වලින් ලබා ගෙන තිබේ.

අධික පොළියක් අය කරන මෙම ආයතන වලින්, ණය ලබා ගත් පුද්ගලයාට ණය ගෙවීමට නොහැකි වූ විට ඔවුන්ව Blackmail කිරීම මෙන්ම වැල්පොලී ගණනය කර එම ණය මුදල් අය කර ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව ද එලෙස අගතියට පත් වින්දිතයන් විසින් මාධ්‍ය හමුවේ හෙළිදරවු කරන ලදි.

‘අයිඩෙන්ටි කාඩ් එකේ දෙපැත්තම පේන විදිහට සෙල්ෆි දෙකක් ගහලා එවන්න කිව්වා’

බීබීසී සිංහල එවැනි වින්දිතයෙකු සම්බන්ධ කරගත් අතර ඇය ද මෙවැනි Online ණය මුදලක් ලබා ගෙන විවිධ අන්දමේ වාචික හිංසනයන්ට ගොදුරු වූ කාන්තාවකි.

රිව්‍යා සුබ්‍රමණියම් කොහුවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදරු මවකි. ඇය CamelShip නැමැති online ණය ලබා දෙන ආයතනයකින් පළමු වරට ණයක් ලබා ගෙන තිබෙන්නේ පසුගිය වසරේ, එනම් 2022 ජනවාරි මාසයේ දීය.

“මට හදිස්සි සල්ලි අවශ්‍යතාවයකට තමයි මම පළවෙනි ණය ගත්තේ. ඒ රුපියල් 5000ක්. ඒක මම සතියක් ඇතුළත 7000ක් විදිහට ගෙව්වා. පොළිය සතියකට රුපියල් 2000ක් ගත්තා,” රිව්‍යා පවසයි.

රිව්‍යාට ද මුලින් සඳහන් කළ ණය ලබා ගැනීමේ පියවර අනුගමනය කිරීමට සිදුවී ඇත. “පළවෙනි ණය ගන්නකොට අයිඩෙන්ටි කාඩ් එකේ දෙපැත්තම පේන විදිහට සෙල්ෆි දෙකක් ගහලා එවන්න කිව්වා. මම ඒ දෙකම යැවුවා. ඊට පස්සෙ ඇප් එකකින් දේවල් ටිකක් කරන්න කිව්වා. මට ඒවා හරියට තේරුණේ නෑ. ඒ කට්ටිය කියපු විදිහට කළා,” ඇය පැවසුවා ය.

ඇය සිය තෙවන ණය මුදල ලෙස රුපියල් 40000ක මුදලක් ලබාගෙන තිබෙන අතර එය මාස දෙකක් ඇතුළත ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇත. නමුත් ඇය පවසන්නේ ඇයගේ අසනීප තත්ත්වයක් නිසා ණය මුදල නියමිත කාලයේ දී ගෙවා අවසන් කිරීමට නොහැකි වූ බවයි. “මම මේ ණය ගෙවාගෙන යද්දි හදිසියේම අසනීප වුණ නිසා ඒ ආයතනයට කතා කරලා කිවුවා මට ටික දවසක් දෙන්න කියලා. එතකොට මට ඒ කතා කරපු ගෑනු කෙනා හොඳටම බැන්නා. එතකොට මම කිවුවා මම කලින් ණය ගෙවලා තියෙන නිසා මේකට පොඩි කාලයක් දෙන්න කියලා. නමුත් සතියකින් දෙකකින් 40000ට දෙගුණයක් තුන්ගුණයක් පොලිය එකතු කරලා ගෙවන්න කිය කියා කරදර කළා.”

වාචික හිංසන

රිව්‍යාට ද සිය ඡායාරූප විකෘති කර පළ කළ හිංසනයන්ට හා වාචික හිංසනයන්ට ගොදුරු වීමට සිදුව තිබේ. “මෙයාලා මුලින් ම මගේ Contact List එකේ නම තියෙන හැමෝටම මම වංචාකාරයෙක් කියලා මැසේජ් යවලා තිබුණා. ඊට පස්සෙ මම අයිඩෙන්ටිය අතේ තියන් ගහපු ෆොටෝ මම ඉන්න වට්සැප් ගෲප් වලට දාලා මම වංචාකාරයෙක් කියලා දාලා තිබුණා,” ඇය විස්තර කරයි.

“ඊට පස්සෙ මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ගේ ෆොටෝ එකක් අරන් මගේ ෆොටෝ එකක් එක්ක එඩිට් කරලා අපි දෙන්නගෙ අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා මගේ Contact List එකේ අයට යවලා තිබුණා.”

ඉන්පසුව ඇය පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පළමු අවස්ථාවේ දී එම ආයතනයේ කළමනාකරුවෙකු යැයි පැවසු පුද්ගලයෙකු පොලිසියට පැමිණි බව ඇය පැවසුවාය. එහි දී පොලිසිය විසින් එවැනි ‘blackmail’ කිරීම් නවත්වන ලෙස ඔහුට පවසා පිටත් කළ බව ඇය පවසයි. එදින තවත් එවැනි ‘balckmail’ කිරීම්වලට ලක් වූ කාන්තාවන් කිහිපදෙනෙකු ද කොහුවල පොලිස් ස්ථානය වෙත පැමිණිලි විභාග කිරීමට පැමිණ තිබේ. නමුත් දිගින් දිගටම සිදු වූ තර්ජන හමුවේ නැවත නැවත පොලිස් පැමිණිලි ඉදිරිපත්කළ නමුත් එම ආයතනයේ කිසිවෙකුත් පොලිස් ස්ථාන වෙත පැමිණ නැත.

“මට හරිම නින්දිත යෝජනා පවා මේ අය කතා කරලා කළා,” ඇය තමාට සිදු වූ වාචික හිංසනයන් පිළිබඳව බීබීසී සිංහල වෙත හෙළිදරවු කළා ය. “ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් මට සැරෙන් සැරේ කතා කළා. හරිම ජරා යෝජනා කළා. පිරිමි කෙනා කතා කරලා කිවුවා ණය ගෙවන්න ඕනෙ නම් දවස ගානෙ ඒ ආයතනයට ඇවිත් ඒගොල්ලොන් එක්ක හිටියොත් දවසකට ‘රුපියල’, ගානෙ අඩු කරන්නම්. නැත්තම් ණය ගෙවන්න කියලා.”

“කතා කරපු ගෑනු කෙනා බැන්නෙම මට මගේ තාත්තා එක්ක හරි ඉඳලා සල්ලි ඉල්ලගෙන සල්ලි ගෙවන්න කියලා. මේ තර්ජන නිසා මම ගොඩක් මානසික පීඩනයෙන් ඉන්නෙ. තාමත් සැරින් සැරේ මට කෝල් ගන්නවා.”

බීබීසී සිංහල සේවය විසින් Camel ship නැමැති මෙම ආයතනයේ වෙබ් අඩවිය ඔස්සේ මේ සම්බන්ධයෙන් විමසීමට එම ආයතනය සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද ඔවුන්ගේ වෙබ් අඩවියේ කිසිදු දුරකථන අංකයක්, ඊමේල් ලිපිනයක් හෝ කාර්යාලයක් පවත්වාගෙන යන ලිපිනයක් සඳහන් කර නොමැති බව නිරීක්ෂණය විය. ඔවුන් විසින් මීට පෙර වින්දිතයින්ට ඇමතුම් ලබා ගන්නා ලද දුරකථන අංකද විසන්ධි කොට තිබුණි.

කෙසේ වෙතත් රිව්‍යාගේ මේ කතාවට සුළු සුළු වෙනස්කම් සහිතව මෙවැනිම අත්දැකීම්වලට මුහුණ දුන් විශාල පිරිසක් සිටිති. සේවය කරන ආයතනවලට කතා කර තර්ජනය කිරීම් හා බොරු ප්‍රචාර සිදු කිරීම් හේතුවෙන් ඇතැමුන්ට රැකියා හැර යාමට පවා සිදුව තිබේ.

Online ණය වින්දිතයන් එක්ව මෑතක දී පැවැතුවූ මාධ්‍ය හමුවක දී අදහස් දැක් වූ කාන්තාවක් පැවසුවේ ඇයගේ දරුවන්ගේ ගුරුවරුන්ගේ අංකවලට පවා ඇමතුම්ගෙන ඔවුන්ව ඇපයට තබා ණය මුදල් ලබා ගෙන ඇති බවට පවසා ඇති බවයි. එවැනි සිදුවීම් නිසා ඇයගේ දරුවන් ද මානසික පීඩාවට පත් වී පාසල් යාම පවා ප්‍රතික්ෂේප කරන තත්වයක් උද්ගත වී ඇති බව ඇය ප්‍රකාශ කළා ය.

ඔබත් අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍යයේ සැරිසරන විට පහසුවෙන්, ඉක්මනින්, ලියකියවිලි නොමැතිව ණයක් ලබා ගන්නා ලෙස පළ කරන ලද ආකර්ෂණීය දැන්වීම් දැක තිබේ ද?
ඡායාරූප ශීර්ෂ වැකිය,ඔබත් අන්තර්ජාලයේ හෝ සමාජ මාධ්‍යයේ සැරිසරන විට පහසුවෙන්, ඉක්මනින්, ලියකියවිලි නොමැතිව ණයක් ලබා ගන්නා ලෙස පළ කරන ලද ආකර්ෂණීය දැන්වීම් දැක තිබේ ද?

මෙවැනි අවස්ථාවකදී ඔබ කටයුතු කළ යුත්තේ කෙසේ ද?

ශ්‍රී ලංකාව තුළ මූල්‍ය කටයුතු සිදුකරන මූල්‍ය ආයතන අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා මහබැංකුවේ ලියාපදිංචි විය යුතු අතර ඒවායේ මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි ඒකකය ද අවධානයෙන් පසුවන්නේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැනි ක්‍රියා නැවැත්වීම සඳහායි.

කෙසේනමුත් මෙවැනි ණය ලබාදෙන ආයතන ක්‍රියාත්මක වන්නේ මහබැංකුවේ කිසිඳු ලියාපදිංචියකින් හෝ අවසරයකින් තොරවයි. මොවුන් විශාල පොලී ප්‍රතිශතයක් අය කරන්නේ මහබැංකුව නියමකර ඇති පොලී අනුපාතයන් ද ඉක්මවා යමින් ය. ඒවා සම්බන්ධයෙන් තවමත් නීතිය ක්‍රියාත්මක වී නොමැති පසුබිමක මෙම Online ණය ලබා දෙන ආයතනය බූවල්ලෙකු මෙන් ණය ලබාගන්නා පුද්ගලයන්ව බිල්ලට ගනිමින් සිටියි.

මෙවැනි අවස්ථාවකදී ඔබ කටයුතු කළ යුත්තේ කෙසේ ද? මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූවගෙන් බීබීසී සිංහල විමසීමක් කරනු ලැබීය.

“මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ළඟම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් දාන්න. දැම්මොත් අපි විමර්ශනයක් කරනවා. පැමිණිල්ලේ තොරතුරු අනුව වරදක් අනාවරණය වුනොත් ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ “මෙවැනි ගනුදෙනු වලදී ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසය.”

“රටේ තියෙන සාමාන්‍ය පොලී අනුපාතයන්ට වඩා අසාමාන්‍ය ලෙස අඩු පොලී අනුපාතයක් පෙන්වනවා නම්, සාමාන්‍ය ණයක් දෙනවාට වඩා අසාමාන්‍ය විදිහට විශේෂ යෝජනා ඉදිරිපත් කරනවා නම් ප්‍රායෝගිකව කරන්න බැරි. හඳුනාගෙන මේවාට යන්න. විශේෂයෙන්ම නන්නාඳුනන ජංගම දුරකථන , වට්ස් ඇප් වලින් එන. මේවා ගැන හොඳින් කල්පනා වෙන්න.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මූලාශ්රය: බීබීසී

Translate