Home » චන්ද්‍රයාන් 3 සාර්ථකත්වය වෙනුවෙන් ජනපති වික්‍රමසිංහගෙන් අගමැති මෝදිට සුබ පැතුම්
Asia Featured India News Politics South Asia Sri Lanka

චන්ද්‍රයාන් 3 සාර්ථකත්වය වෙනුවෙන් ජනපති වික්‍රමසිංහගෙන් අගමැති මෝදිට සුබ පැතුම්

සිය අසල්වැසියා මෙන්ම දීර්ඝ කාලීන මිතුරු රාජ්‍ය වන ඉන්දියාව විසින් ඊයේ (අගෝස්තු මස 23 වෙනිදා) අත්පත් කර ගනු ලැබූ ඓතිහාසික අභ්‍යවකාශ ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය සුබ පැතුම් දිගින් දිගටම එක් කරමින් තිබේ.

“ශ්‍රී ලංකාවට ආඩම්බරයක්”

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලැබූ මෙම විශිෂ්ට සහ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ අසල්වාසී සහෝදර රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ද ආඩම්බරයට පත් වන බවයි.

“චන්ද්‍රයාන් 3 යානය ඉතිහාසයේ ප්‍රථම වරට චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ඉතා සාර්ථක ලෙස ගොඩබැස්සවීමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ඔබටත්, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ (ISRO) කණ්ඩායමටත්, ඉන්දීය ජනතාවටත් මාගේ සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි” ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත සුබපැතුම් එක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේය.

“අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙරටට ආවේණික වූ දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින අතර, දකුණු ආසියානු පවුලේ සාමාජිකයින් ලෙස ද මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය අප සමරන්නේ ඉමහත් ආඩම්බරයෙනි”

“සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සිදුකළ මෙම කැපකිරීම ඔබගේ මහත්මා ගතිගුණය ලෝකයට මැනවින් පිළිබිඹු කරන අවස්ථාවක් බව ද කිව යුතුය. එය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන්හි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඉදිරි පරම්පරාවන් දිරිමත් කරන්නක් බව නොඅනුමානය”

“සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක ගවේෂණය කිරීමේ ඔබගේ අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබටත්, සියලුම විද්‍යාඥයින්ටත් සුභ ප්‍රාර්ථනා කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි” යනුවෙන් ජනාධිපතිවරයා විසින් ඉන්දීය අගමැතිවරයා වෙත යොමු කළ සිය සුබ පැතීම් ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස්ගෙන් සුබ පැතුම්

මේ අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලබන මිලින්ද මොරගොඩ ද සිය සුබ පැතුම් එක් කරමින් පවසා සිටියේ “එය ඉන්දියාවට ආඩම්බරයක්, නමුත් ශ්‍රී ලංකාව ද උප මහාද්වීපයේ කොටසක් බැවින් එය අපටත් ආඩම්බරයක්. ඉන්දියාවට සුබ පැතුම් එක් කරනවා.” යනුවෙන්ය.

පක්ෂ සහ විපක්ෂ සුබ පැතුම්

මේ අතර ඉන්දියාව විසින් සිය චන්ද්‍රයාන් 3 යානය සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්වන ලැබූ ඓතිහාසික අභ්‍යවකාශ ජයග්‍රහණයට අද ( අගෝස්තු මස 24) වෙනිදා රැස්වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පක්ෂ සහ විපක්ෂ දේශපාලඥයින් විසින් සිය සුබ පැතුම් එක් කරනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉන්දියාව විසින් අත්කර ගනු ලැබූ එම ජයග්‍රහණය ගැන පාර්ලිමේන්තුවේදී සුබ පැතුම් එක් කළේ මීට වසර ගණනාවකට පෙර මෙරටින් අභ්‍යවකාශයට යවන ලද සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 320ක් වැය වූ බව ද පවසමින්ය.

පාර්ලිමේන්තු සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ ඉන්දියාව විසින් දිගු කාලීන සැලැස්මක් යටතේ කටයුතු කරමින් මෙම අභ්‍යවකාශ ජයග්‍රහණය ලබා ඇති බවය.

හිටපු ඉන්දීය ජනාධිපතිවරයෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් විසින් එම ගමනේ පුරෝගාමියෙක් බවත් ඔහුගේ 2020 දැක්මට එහා යමින් ඉන්දියාව මෙම ජයග්‍රහණය අත්පත්කර ගනු ලැබුවේ නිවැරදි නායකත්වයේ මග පෙන්වීම මත බවය.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රී විමල් විරවංශ ද ඉන්දියාව ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සුබ පැතුම් එක් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් X ( පෙර ට්විටර්) සමාජ මාධ්‍ය අඩවිය ඔස්සේ සිය සුබ පැතුම් එක් කර තිබුණේ මේ අයුරිනි.

ඉන්දියාවට සුබ පතන්න එක්වූ ක්‍රිකට් තරුව

මේ අතර චන්ද්‍රයාන් 03 මෙහෙයුම සාර්ථක වීම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලාංකික වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ද සුබ පැතුම් එක් කර තිබේ.

“ඉන්දියාව සඳ මත! චන්ද්‍රයාන්-3 සාර්ථකව ගොඩබැස්වීමත් සමඟ අභ්‍යවකාශ ගවේෂණයේ යෝධ පිම්මක් පැනීම පිළිබඳව @isro සහ සියලුම ඉන්දියානුවන්ට සුබ පැතුම්. දකුණු ආසියාව ඔබ ගැන ආඩම්බරයි”

මේ අතර ඉන්දියාව විසින් සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට පළමු වරට චන්ද්‍රිකාවක් ගොඩ බැස්සවීමට සමත් වීම සම්බන්ධයෙන් මෙරට සමාජ මාධ්‍ය තුලද බොහෝ දෙනෙකු තම සුබ පැතුම් පළකර තිබුණි.

මූලාශ්රය: බීබීසී

Translate